දැක්ම

කාර්යක්ෂමතාවයෙන් යුත් ඵලදායී මහජන සේවාවක්

මෙහෙවර

ලුණුගල ප්‍රාදේශී්‍ය සභා බල ප්‍රදේශය තුළ වෙසෙන ජනතාවගේ තිරසාර, සමාජ ආර්ථික සංවර්ධනය සහතික කිරීම උදෙසා පොදු උපයෝගීතාවයන්හි සංවර්ධනය සහතික කිරීම උදෙසා අණ පනත් නීති රීති රාමුව තුළ ක්‍රියා කරමින් සම්පත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් සුහදශීලි හා මිත්‍රශීලි සේවාවන් සැලසීම හා ඒ සඳහා කැපවීම.

ඓතිහාසික පසුබිම

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල, මැදගම හා බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පිහිටා ඇත. කොට්ඨාසයේ භූ විෂමතා ලක්ෂණ සැළකිල්ලට ගන්නා විට මුහුදු මට්ටමේ සිය අඩි 500ත් 4500ත් අතර, පිහිටි උස් බිම් ප්‍රදේශය පුරා විහිදී ඇති අතර, ප්‍රදේශයේ මුළු භූමි ප්‍රමාණයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් බෑවුම් සහිත ප්‍රදේශ වේ.

ලුණුගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා මෙම ලුණුගල යන නම ලැබීම සහ ප්‍රදේශයේ උපත පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීමට ඓතිහාසික තොරතුරු හා ජනප්‍රවාදයේ ඇති තොරතුරු ඉතා වැදගත් සේ පෙනේ. ලුණුගල වන නමට අමතරව මෙම ප්‍රදේශය පට්ටිපොල කොරළය නමින්ද හඳුන්වා ඇත. මෙම නම් දෙකම එකම කාරණාවක ප්‍රතිඵලයකි, අතීතයේ වෙළඳුන් තම ලුණු වෙළඳාම කර ගෙන යාමට මෙම ප්‍රදේශය යොදා ගෙන ඇත. ලුණු වෙළඳාමේ හුවමාරු මධ්‍යස්ථානය වූ ප්‍ර දේශය ලුණුගල ලෙස ව්‍යවහාර කර ඇත. එසේම ලුණු ප්‍රවාහනය සඳහා යොදා ගත ගවයන් පට්ටි වශයෙන් ගාල කර තැබීම හේතුවෙන් පට්ටිපොල ලෙසද ව්‍යවහාර කර ඇත.

විජය රජු සමඟ පැමැණි ලෝණ නම් ඇමති විසින් මෙම ප්‍රදේශයේ ජනාවාස පිහිට වූ බැවින්, ලෝණගම පසුව ලුණුගල වූ බවටද ජනවහරයේ මතයක් පවතී. විශේෂයෙන්ම වෙල්ලස්ස නිදහස් සටන සමයේ ලුණුගල ප්‍රදේශය ආරක්ෂිත ස්ථානයක් සේ පැවති බවට විශ්වාස කරයි. තවද වළගම්බා රජු සමයටද මෙම ලුණුගල බිහිවී වර්ධනය වීමේදී වැදගත් සේ සැළකිය හැකිය.

ග්‍රාම නිළධාරි වසම් 28 කින් යුත් බල ප්‍රදේශය සඳහා ලුණුගල ප්‍රාදේශීය සභාව වශයෙන් ප්‍රථමයෙන් ස්ථාපිත වූයේ 2011 අප්‍රෙල් 01 වෙනි දිනය. ඊට පෙර පස්සර ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයක්ව තිබුණි. පරිපාලනයේ පහසුව උදෙසා වර්ග කිලෝමීටර් 142.26 කින් යුත් බල ප්‍රදේශය සඳහා ලුණුගල ප්‍රාදේශීය සභාව පස්සර ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයක්ව තිබූ ලුණුගල කාර්යාලයේ 2011 අප්‍රේල් මස 01 වෙනි දින ප්‍රතිෂ්ථාපනය කරන ලදි.

විවිධ ජන වර්ග වලට අයත් ජාතීන් මෙම කොට්ඨාශයේ වාසය අතර, සිංහල, ඉන්දියානු දෙමළ, ශ්‍රී ලංකා දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, වෙනත් ජනගහනයේ ප්‍රතිශත පිළිවෙලින්, 59.5%, 33%, 21.9%, 4.07%, 0%, 0% හා 1.53% ක් වේ. කොට්ඨාශයේ මුළු ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් ඇත්තේ 39ග5% ක් වන සිංහල ජන වර්ගයයි.