ලුණුගල ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය සඳහා සුභපැතුම් එක් කිරීමට අවස්ථාව ලැබීම  පිළිබඳව මා අතිශයින්  සතුටට පත්වෙමි.
පළාත් පාලන ආයතනයක කාර්යභාරය වනුයේ උපයෝගිතා සේවාවන් පොදු මංමාවත් පිළිබඳ සියළු කරුණු  බල ප්‍රදේශයේ සීමා තුල විධිමත් කිරීම, පරිපාලනය කිරීම මෙන්ම සාමාන්‍ය ජනතාවගේ සුඛ විහරණය, පහසුකම්, සුබසාධනය, බල ප්‍රදේශයේ සැප විහරණ ක්‍රම ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීමය.
ශ්‍රී ලංකාවේ ජනතාවට සමීපතම හා කුඩාම ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිත ආයතනය වන්නේ ප්‍රාදේශීය සභාවයි. මෙම ආයතනය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මඟින් නෛතිකව සවිබල ගැන්වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පාලනයේ පහල මට්ටමේ පවතින මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන මහජන නියෝජිත ආයතන අතරින් පනතින් නෛතික ශක්තියක් සහිතව තම නමින් නීතිමය කටයුතු කිරීමේ හැකියාව සතු එකම ආයතනය වන්නේ ප්‍රාදේශීය සභාවයි.
ප්‍රාදේශීය සභාව ජනතාවට ආසන්නව සිටින කුඩාම මහජන නියෝජිත ආයතනය වුවද එම මහජන නියෝජිතයන්ට සිය බල ප්‍රදේශය තුල ජනතාව උදෙසා  ඉටුකල යුතු වගකීම් රාශියක් පවතින අතර වගවීමෙන්, විනිවිදභාවයෙන් හා නිවැරදි විනයකින් යුතුව එම වගකීම් ඉටුකිරීමට එකී පනතින් බලතල ලබා දී ඇත.
ඒ අනුව පොදුවේ ප්‍රදේශයේ ජනතාවට ගැලපෙන පරිදි සකස් කරගත් අයවැයකින් බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු මෙහෙයවීමට සිදුවේ.
මෙම ආයතන වල පාලනය බල ප්‍රදේශයේ මහජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී මණ්ඩලයක් විසින් සිදු කරනු ලබයි.
පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මහ සභාවට අමතරව පනතේ විධිවිධාන මත පත්කෙරෙන කාරක සභා හෝ කමිටු මඟින් ආයතන පරිපාලනය විධිමත් කිරීමේ ක්‍රමවේදය සලසා තිබේ. ඒ මඟින් වැඩි ජනතා ප්‍රවේශයක් ඇති කිරීමේ අවස්ථාව උදාවී ඇත.
ජනතා සහභාගීත්වයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව තුල පළාත් පාලන ආයතනයක ඵලදායී බව නිගමනය කරනු ලබයි. එබැවින් ආයතනයේ දැක්ම හා මෙහෙවර ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කරගැනීම උදෙසා මානව, මූල්‍ය හා භෞතික සම්පත් මනා ලෙස කළමනාකරණය කරමින් ඉහළ  කළමනාකාරීත්වයේ මඟ පෙන්වීම් නිරන්තරයෙන් ලබාගනිමින් ලුණුගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය වඩා ඉහළ මට්ටමකට ගෙන ඒම සභා ලේකම් වන මා හා මාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනයයි.
එම්.පී.මංජුලා ද සිල්වා
සභා ලේකම්